-->

පෘථිවියේ උපත, ලෝකයේ ආදීතම ජීවියා සහ ජීවයේ ආරම්භය : පරිණාමයේ කතාව

  අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග‍්‍රහලෝක සහ ඒවායේ උප ග‍්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප‍්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ. 

නීහාරිකාවක්


‘මහා පිපිරුම’
න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලූම දේ එනම් සියලූම මන්දාකිණි, තරු, ග‍්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය ‘මහා පිපිරුම’ (Big Bang) ලෙස සැලකේ. එහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග‍්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක් වීමෙනැයි මතය ලොවට හෙළි කළේ 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඞ් හොයිල් විසින්  ‘බිග් බෑන්’ ලෙස නම් කළේය.

මහා පිපිරුම

විද්‍යාඥ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි

පෘථිවිය නිර්මාණය වූ හැටි
මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප‍්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග‍්‍රහලෝක නිර්මාණය විය. මෙම ග‍්‍රහලෝක අතර සූර්යයාගේ සිට තෙවන ස්ථානයේ කුඩා පාෂාණමය ග‍්‍රහලොවක් බිහිවූ අතර මෙය අපේ පෘථිවියයි. 


පෘථිවියේ ආරම්භක අවධිය
දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. ඒ කාලයේ අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ‍්‍රණයක් විය. 

මතුපිට සිදුවූ වෙනස්කම්
පළමු වසර මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප‍්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ‍්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක‍්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප‍්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය. 


විෂ වායුගෝලයක්
දැන් අපේ පෘථිවිය නිසරු බවෙන් පිරි, ජීවයෙන් තොර ජලයෙන් හා පාෂාණවලින් පිරුණු පෘෂ්ඨයක් සහිත සූර්යයා වටා ගමන් කරන ග‍්‍රහලොවකි. වායුගෝලය කාබන් මොනොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ්, මීතේන් සහ සයනයිඞ් වැනි විෂ වායුවලින් පිරී තිබුණු මෙය අතර ජීවීන්ට හිතකර වායුගෝලයක් නොවීය. 

පෝෂ්‍ය පදාර්ථවලින් පිරි ‘ප‍්‍රාථමික සූපය’
මේ නිසරු ග‍්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවයි. ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප‍්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති. 

ප‍්‍රාථමික සූපයේ අඩංගු වුණේ මොනවාද ?
ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ අඩංගු විණි. මේ නිසා ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය වූයේ ඉපැරණි මහා සාගරවල ඒවායේ වෙරළවල සහ නොගැඹුරු මහා ජලාශවලයි. මෙම ජලාශ ජීවය නිර්මාණයට දායක වූ ප‍්‍රාථමික සූපයෙන් පිරී තිබිණි. ‘ප‍්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කළේ තෝමස් හක්ස්ලි, රැවල් කාසන්, ජේ.බී.එස්. හෝල්ඩින් සහ ඒ.අයි. ඔපරින් යන විද්වතුන්ගේ එකමුතුවෙනි.

පෘථිවියේ ජීවය පහළ වීම ඇරඹේ
ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ෙසෙල පසුව සත්ව හා ශාක ෙසෙල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්‍රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ

බැක්ටීරියාවක්

ආදීතම ජීවියා
ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලූවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අපි‍්‍රකාවෙන් සොයාගත් මොහු හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි.



පොසිලයක්



අපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.



මෙලෙස වසර මිලියන 500 කට පමණ ඉහත දී සාගරයේ බිහි වී විවිධ වෙනස්කම්වලට භාජන වෙමින් ආ සත්ත්ව විශේෂ අතර ප‍්‍රධාන තැනක් හිමි වූයේ කොඳු ඇට රහිත හෙවත් අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂයන්ටය. අතීතයේ දී සාගර මේ සතුන්ගෙන් පිරී තිබිණි. ගංගා හා විල් ආදී ගොඩකර ජලාශවල කිසිදු ජීවයක් නොවූවද මුහුද අනන්ත අප‍්‍රමාණ ජීව වර්ගවල නිවහන විය. මෙම කොඳු ඇට රහිත සත්ව වර්ග අද අපට හමුවන කූඩැල්ලන්, හංගොල්ලන් හා පණුවන් වැනි සතුන්ගේ ස්වරූපය ගත් ඔවුන්ගේ ආදීතමයන් ලෙස සැලකේ. වසර මිලියන ගණනක් ගත වී යත් ම මුහුදේ අලූත් ජීව වර්ග පහළ විය. කොරල් (Coral), නොටිලොයිඩ (Nautiloids), කි‍්‍රනොයිඩ (Crinoids), ට‍්‍රයිලෝබයිට (Trilobites), කූණිස්සන්ගේ ස්වරූපයෙන් යුත් සන්ධිපාදකයන්(Arthropodes), බ‍්‍රැකියෝපෝඞ් (Brachiopodes) හෙවත් පහත් කවචයන් හා යුරිප්ටෙරිඞ්ස් (Eurypterids) (මුහුදු ගෝනුස්සන් ආදීන් ඇතුළත්) ආදී වර්ග ඉන් ප‍්‍රධානය.

පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
අද මේ මිහි මත පෘෂ්ඨවංශීන් සත්ත්ව විශේෂ ගණනාවක් වාසය කරති. කොඳු ඇට පෙළක් ඇති මේ සතුන් අතරට කරදියේ හා මිරිදියේ වාසය කරන මත්ස්‍යයින්, උභය ජීවීන්, උරගයින්, කුරුල්ලන්, ක්ෂීරපායීන් මෙන්ම මිනිසා ඇතුළු මානවයින් ද ඇතුළත් වෙයි. මුලින්ම පෘෂ්ඨවංශීන් බිහිවූයේ මුහුදෙනි. මුහුදු ජීවීන් කිහිප දෙනකුගේ සිරුරේ කොඳු ඇට පේළියක් වර්ධනය විය. මුලින් ම පහළ වූ මත්ස්‍යයන් වන්නේ ද මොවුන්ය. ඔවුන්ගේ වරල් වර්ධනය විය. කරමල්වලින් ශ්වසනය කිරීම ආරම්භ විය. ඔවුන්ගෙන් සමහරක් අයට පෙණහලූ තිබිණි. මේ අතරින් සමහර මසුන් ගොඩබිමට ඇවිත් ගොඩබිම ජීවිතයට හුරු විය. සෙමින් සෙමින් ඔවුන් පරිණාමය වෙන්නටත් පරිසරයට හා ජීවත්වීමට පහසු අයුරින් හැඩ ගැසීමටත් පටන් ගැනිණ.

මසුන්ගේ පරිණාමය
කොඳු ඇට පෙළක් සහිත සියලූම සත්ත්ව වර්ගයන්ට සමීප සබඳතාවක් ඇති ජීව වර්ගයක් ද සිටියි. මොවුන් පොදුවේ හැඳින්වෙන්නේ හනු රහිත මසුන් ලෙසිනි. මීට පෙර විසූ සතුන්ට නොතිබුණු අංගයක් වූ කොඳු ඇට පෙළක් හෙවත් කශේරුකාවක් මොවුනට හිමි වී තිබිණි. මෙම කශේරුකාව තුළ ස්නායු රජ්ජුවක් පිහිටියේය. කශේරුව වටේ පෘෂ්ඨ රජ්ජුවක් පිහිටා තිබේ. ප‍්‍රථම පෘෂ්ඨවංශිකයන් සේ සැලකෙන මේ හනු රහිත මත්ස්‍යයන්ගේ පොසිල විද්‍යාඥයන්ට හමු වී තිබේ. වසර මිලියන 400 ක් තරම් පැරණි කෙෆලැස්පිස් (Cephalaspis) නමින් හැඳින්වෙන මෙම මත්ස්‍යයා පැතළි පළල් එකෙකි.

හනු රහිත මසුන්ගෙන් ආ ‘ලැම්පේ‍්‍ර’
මේ හනු රහිත මසුන්ගෙන් තවත් වර්ග වර්ධනය වූහ. ඔවුන් මූදෙන් මිරිදිය ගංගාවලට ඇතුළු වී ඒවා වාසභූමි කර ගත්හ. පසු කලෙක මෙම හනු රහිත මසුන් සියල්ල ම අතුරුදන් වී ගියහ. නමුත් ඉන් වර්ග කිහිපයක් පමණක් අද ද ඉතිරි වී සිටිති. ලැම්පේ‍්‍ර (lamprey) ඊට හොඳ නිදසුනකි. ආඳකුගේ සිරුරට සමාන සිරුරක් ඇති මෙම සත්ත්වයාට වරල් හෝ පාද නැත. මුව පෙදෙස රවුම්ය. රවුම් මුඛයක් ඇති නිසා ‘සයික්ලොස්ටෝම්ස්’ (ceyclostomes) යනුවෙන් හඳුන්වයි. හනු පෙදෙස් දකින්නට නොමැත. හිස් මුදුන අසල එක් නාසයක් දකින්නට ඇත. කුඩා මොළය කාටිලේජ ස්වභාවයක් ගන්නා ආවරණයක් මැද පිහිටා ඇත. ඇස් කුඩාය. කන් ඇතුළට වෙන්නට පිහිටා ඇත. මෙම සතුන්ගේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සඟළ පාද හා හනු පිහිටා නැති වීමයි. මෙම ලක්ෂණවලට අනුව මොවුන් පෘෂ්ඨවංශී පරිණාමයේ ඉතාම පහළ තලයක සිටින බව විද්‍යාඥයන්ගේ මතයයි.


මසුන්ගේ පරිණාමයේ කතාව
කොඳු ඇට සහිත සත්ත්ව විශේෂයක් වන මත්ස්‍යයන්ගේ පරිණාමයට අයත් වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙතෙක් සොයා ගත් කරුණුවලට අනුව ලොව පළමුවෙන්ම වාසය කළ කොඳු ඇට සහිත සතුන් හනු රහිත මත්ස්‍යයන් බව කිව හැකියි. මොවුන් ඔස්ට‍්‍රැකෝර්ඩම් (Austracordum) යනුවෙන් හැඳින්වේ. මොවුන්ට හනු හෝ සඟල වරල් නොතිබිණි.


ආදි යුගවල ජීවත් වූ කාටිලේජ මසුන් කිහිප දෙනෙක්
ක්ලැඩොසෙලකි (පැරණි මෝරුන් විශේෂයක් - දිග අඩි 2 - 4 ක් පමණ)
කයිමෙරොයිඞ් (දිග අඩි 2 ක් පමණ)
මන්ටාස් (ආදි මඩුවන් - දිග අඩි 20 ක් දක්වා)

මොවුන්ගෙන් හමුවී ඇති මුල්ම පොසිල වසර දශලක්ෂ 395-440 ත් අතර කාලයකට අයත් වේ. මේ කාලය ‘සිලූරියන් අවධිය’ ලෙසින් හැඳින්වේ. මීට පසු පැමිණි ‘ඩෙවොනියන් යුගයේදී’ මෙම මත්ස්‍යයන් වඩා හොඳින් ව්‍යාප්තව සිට වඳ වී ගොස් ඇත.

ඔස්ට‍්‍රැකෝඩම් වර්ගයේ හනු නැති මසුන්
හෙම්සයික්ලැස්පික් ( දිග අඟල් 8 ක් පමණ)
ටෙරැස්පිස් (දිග අඟල් 6 ක් පමණ)
ෆැරින්ගොලෙපිස් (දිග අඟල් 7 ක් දක්වා)
ඩෙ‍්‍රපනැස්පිස් (දිග අඟල් 1 ක් පමණ)
තෙලොඩස් (දිග අඟල් 3-8 ක් දක්වා)

මොවුන් සතු ලක්ෂණ
හිසේ ආවරණයක් ලෙස අස්ථි කවරයක් තිබේ. සිරුර අස්ථිමය කොරලවලින් වැසී පවතියි. වේගයෙන් ගමන් කළ හැකියි. හිස පැතළි වන අතර කරමල යටට විවෘතව තිබේ.


මුල්ම හනු සහිත මත්ස්‍යයා - ‘ප්ලැකෝර්ඩම්’
මුල්ම හනු සහිත මත්ස්‍යයා ‘ප්ලැකෝඩර්ම්’ නම් වේ. මෙම මසුන්ගෙන් කොටසක් මුහුදේත් තවත් කොටසක් මිරිදිය ජලාශවලත් වාසය කළහ. මොවුන්ට හනු සහ සඟල වරල් තිබේ. මොළය වටා ඇති ආවරණය ශක්තිමත්ය. කශේරුව හනු යුගලක් සහ බාහිර අස්ථි නිර්මාණයක් මොවුන් සතුයි.

ප්ලැකෝර්ඩම් වර්ගයේ මසුන්
ක්ලිමෙටියස් ( දිග අඟල් 3 ක් පමණ)
ඩයිනික්තිස් (දිග අඩි 30 ක් පමණ)
ඇකැන්තෝඩිස් (දිග අඩි 1 ක් දක්වා)
බොත‍්‍රියොලොපිස් (දිග අඩි 1 ක් පමණ)

කාටිලේජ මත්ස්‍යයෝ
අනතුරුව පහළ වූයේ කාටිලේජ (Cartilage Fish) මත්ස්‍යයන්ය. මොවුන්ට අස්ථි වෙනුවට සිනිදු කාටිලේජ පිහිටා ඇත. ශරීරය මොලොක්ය. නමුත් දත්, වරල් සහ කටු ශක්තිමත්ය. ඩෙවොනියන් අවධියට සහ මිසොසොයික යුගයේ මෙම මසුන් ජීවත් වූහ.

ක්ලැඩොසෙලාකි (Cladoselaki) - මෝරුන් හා මුහුදු පතුළේ ජීයත් වූ මඩුවන්
කයිමෙරොයිඞ් (Cymeroid)
ක්ලයිමේෂස් (Climatius)

අස්ථි සහිත මත්ස්‍යයෝ
අද අපට දකින්න ලැබෙන සියලූම අස්ථි සහිත මත්ස්‍යයන්ගේ පරිණාමය සිදුවූයේ මේ අවධියේදීයි. හොඳින් පිහිනීමට හැකිවීමත්, ආහාර ගැනීම අතින් පෙන්වූ දක්ෂතාවත් නිසා මොවුන් අනෙක් මත්ස්‍යයන් අතරින් කැපී පෙනුණි. අස්ථි සහිත මසුන්ගේ ලක්ෂණ අතර කැපී පෙනෙන්නේ මොවුන්ට පෙණහලූ තිබීමයි. මොවුන් මිරිදියෙහි උපන් බවට සැළකේ. ඬේවොනියානු යුගය වන විට පෘථිවියේ මුහුදු විල්, පොකුණු, ඇළ දොළ ආදී සෑම ජලාශයකම මේ මත්ස්‍යයන්ගෙන් පිරී තිබිණි. නමුත් අද වන විට මොවුන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් වඳ වී ගොස් ඇත. පෙණහලූ සහිත මසුන් මීට වසර මිලියන 70 කට පෙර වඳ වී ගියහ.


අස්ථි සහිත මසුන්
එකල වාසය කළ කටු සහිත ප‍්‍රාථමික මත්ස්‍යයින් වූයේ කයිරොලෙපිස් (Cheirolepsis)
ප්‍රොයොස්ටෙරස් (Portosterus)
ලෙපිඩෝසයිරන් (Lepidosiran)
සීලනැන්ති (Seelananthie)
ක්‍රොසොප්ටෙරස් (Crosopteris)
රිපිඞ්ස්ටියන් (Ripidstian)
යුස්නෙතොප්ටෙරෝන් (Yousthenopteron)

අද අපට දකින්න ලැබෙන හුරුල්ලා, කුම්බලාවා, තෝරා, කොප්පරා ආදී මසුන් මීට නිදසුන් වේ.


උභය ජීවීන්ගේ පරිණාමය
ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප‍්‍රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්‍යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්‍යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.



ආවේණික ලක්ෂණ
සම තෙත සහිතය. බාහිර කොරපොතු නොමැත. ඇවිදීමට හෝ පිහිනීමට උපකාරී වන ග‍්‍රාතා සඟළ දෙකක් පිහිටයි. පාදවල ඇඟිලි 4 ක් හෝ 5 ක් ඇත. ඇතැමකුට ඇත්තේ මීටත් වඩා අඩු ඇඟිලි ගණනකි. නාස්පුඩු දෙකකි. මුඛ කුහරයට සම්බන්ධව ඇති මේවාට ජලය පිටකර යැවීමට උපකාරීවන කපාට ද වේ. ඇස් ආවරණ හෙවත් ඇසිපිය ඇත. දිව බොහෝවිට පිටතට නෙරිය හැකිය. කන් බෙරය දියුණු තත්වයකට පත්විය. සියුම් සන්වේදීතාවනට ප‍්‍රතිචාර දැක්විය හැකි පරිදි සැකසී වායු ගෝලයේ ඇසෙන ශබ්ද හඳුනාගැනීමට හැකියාව ඇත. පිටකොඳු අස්ථි ඉතාමත් ශක්තිමත් ලෙස පරිණාමය වී ශ්‍රෝණි මේඛලාවට අපරගාත් සම්බන්ධ විය. ජලක් ලෝම, පෙනහළු, සම, මුඛයේ ආස්තරය යනාදී ඉන්ද්‍රිය වෙන වෙනම කි‍්‍රයා කිරීමෙන් හෝ එක්ව කි‍්‍රයා කිරීමෙන් හෝ ශ්වසනය සිදුවේ.


ගොඩබිමට පා තැබූ ප‍්‍රථමයා
ගොඩබිමට පා තැබූ ප‍්‍රථම සත්ත්වයා ඉක්තියොස්ටෙගා (Icthyostega) යනුවෙන් හැඳින්වෙන උභය ජීවියෙකි. මෙම සත්ත්වයාගේ පොසිල හමුවී තිබෙන්නේ ගී‍්‍රන්ලන්තයේ ඩෝවෝනීය යුගයට අයිති පාෂාණවලයි. මෙම පොසිල අතර තිබූ හිස් කබල් දිගින් අඩි 6 ක් පමණ වන බැවින් මේ උභය ජීවීන් සෑහෙන තරම් විශාල ශරීරයක් තිබෙන්නට ඇත. මොවුන් ක්‍රෝසෝප්ටෙරිජි මත්ස්‍ය වර්ගයෙන් ව්‍යාප්ත වූ බවට විශ්වාස කෙරේ. ඉක්තියොස්ටෙගාගේ වරල් ඇඟිලි සහිත පාද ලෙස වෙනස් වී තිබිණි. මෙම සත්ත්වයා ඌට එතෙක් හුස්ම ගැනීමට ආධාර කළ ජලක් ලෝම (Gills) වලින් නොව පෙණහලූවලින් (Lungs) හුස්ම ගන්නට විය.


උභය ජීවීන්ගේ එකම නෑයා
අද උභය ජීවීන්ගෙන් ඉතිරි වී සිටින එකම නෑයා ඇමෙරිකාවේ වෙසෙන සැලමන්දරාය. මොවුන් කි‍්‍රටේසීය යුගයේ දී පහළ වූහ. මොවුන් සිය ආදීතමයන් සේ කුඩා කල ජලයේ ගත කරයි. වැඩුණු පසු ගොඩබිම ජීවිතය අරඹයි. මොවුන් ජීවත් වන්නේ තෙතමනය ඇති ප‍්‍රදේශවලය. හැඩරුව මත්ස්‍යයකුට සමාන වුනත් සැලමැන්දරයන්ට ඇත්තේ වරල් නොව පාදය. එහෙන්ම දිගු වල්ගයක් ද දැකිය හැකිවේ. මෙසොසොයික යුගයේ සිදුවූ මේ ප‍්‍රවර්ධනය නිසා උරග යුගයට මග පෑදුණේ යැයි සැලකේ. අද ලොව වෙසෙන ගෙම්බන්, මැඩියන් සහ සැලමැන්දරයන් වැනි උභය ජීවීන්ගෙන් උරගයන්ගේ පරිණාමය සිදු වූ බවට සැලකේ. මේ නිසා උභය ජීවීන් ගොඩබිම තරණය කිරීම ආරම්භ කළ සතුන් බවත් උරගයන්ට ගොඩබිමේ ජීවත්වීමට මග පාදා දුන් සත්ත්ව කොට්ඨාශයක් ලෙසත් හැඳින්වීමට පුළුවන.


උරගයින්ගේ පරිණාමය
ජලජ පරිසරයක සිට ගොඩබිම් පරිසරයට සංක‍්‍රමණය වූ උභය ජීවීන් පසු කලෙක උරගයන් ලෙසට පරිණාමය වූ බැව් සිතිය හැකිය. මෙම උරගයින්ගේ පහළවීම පර්මියානු යුගයේ පරිසරය තුළ සිදු වූ වෙනස්කම් බොහෝ සේ හේතු වී ඇත. නොයෙක් ගස් ඇතිවීමත් භූමියේ සිදුවූ වෙනස්වීම් හේතුවෙනුත් විවිධ දේශගුණික ලක්ෂණ විවිධ වීමත් මීට නිදසුන් වේ. මේ හේතු සාධක නිසා ප‍්‍රථම උභය ජීවීන් ප‍්‍රථම උරගයන් බවට පත් වන්න ඇතැයි පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති.

උරග යුගයේදී
උරග යුගයේදී වාසය කළ ප‍්‍රමුඛ පෘෂ්ඨවංශීන් මොවුන්ය. එකල තිබූ බොහෝ සත්ත්ව පරිසරවල එනම් අර්ධශුෂ්ක ප‍්‍රදේශවල හා වියළි උස්බිම්වල සිට වගුරු ආදියේත් සාගර දක්වාත් ලොකු කුඩා නානාවිධ ප‍්‍රමාණවලින් යුතු උරගයන් වාසය කර තිබේ. මින් ඇතැමකු දිගින් හා බරින් අනකුන්ට වඩා විශාලය. ව්‍යුහයෙන් හා ගති පැවැතුම්වලින් ද මේ උරගයෝ බොහෝ විවිධ වූහ.

ආවේණික ලක්ෂණ
ශරීරය වියළිය. (කොරොස්) සමකින් ආවරණය වී ඇත. ගාත‍්‍රා සඟළ දෙකකි. ඇඟිලි 5 බැගින් මෙම ගාත‍්‍රාවලට ඇත. දිවීම බඩගෑම, නැගීම සඳහා මේවා හැඩගැසී ඇත. ඇතැම් කටුස්සන්ගේ ගාත‍්‍රා ක්ෂීණ වී ඇති අතර තවත් අයගේ (සර්පයින්) ගාත‍්‍රා කොහෙත්ම නැත. ඔවුහූ පෙණහලූවලින් ආශ්වාස කරති. ශරීර උෂ්ණත්වය පරිසරයට අනුව වෙනස් වෙයි. වේගයෙන් ගමන් කිරීමට පුළුවනි.


ප‍්‍රථම උරගයා: සෙයිමුරියා
ගොඩබිම සහ මුහුදෙහි වාසය කරමින් බිහිවූ උභය ජීවීන් පසුව උරගයින්ගේ පහළවීමට හේතුවූ බව විශ්වාස කෙරේ. ඒ මතය සනාථ කරන පොසිලයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සෙයිමර් නගරය අසළින් හමුවී තිබේ. ඒ සෙයිමුරියා (Seymouria) නම් සත්ත්ව පොසිලයකි. මෙම සත්ත්වයා උභය ජීවී සහ උරග යන දෙවර්ගය යා කරන පුරුකක් සේ සැළකේ.





ක්ෂීරපායීන්ගේ පරිණාමය
ක්ෂීරපායීන් හෙවත් කිරී බී වැඩෙන සතුන් අයත් ගණය හැඳින්වෙන්නේ මමාලියා (Mamalia) කියාය. මමාලියාවන් අයත් වන්නේ සිරුරේ උෂ්ණත්වය ස්ථිර ව පවත්වා ගෙන යා හැකි, එනම් අචලතාපී (warm-blooded) ගණයටය. මොවුන් හැඳින්වෙන්නේ ‘පණ පිටින් ඉපදෙන’ සතුන් ලෙස ය. ඒ බිත්තර වශයෙන් මෙලොවට බිහි වී ‘පසුව උපදින’ සතුන්ගෙන් වෙනස් වන නිසාය. මවු කුසෙහි හැදී වැඞී පසුව පණ ඇති බිහි වන මේ සතුන් වැඩෙන්නේ මව්කිරි බී මෙනි. පාද හතරක් ඇති, රෝමවලින් යුත් මේ සතුන් බල්ලන්, සිංහයන්, අශ්වයන්, ගවයන්, සාවුන්, අලිඇතුන්, මීයන් ආදී වශයෙන් විශාල සංඛ්‍යාවක් නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. මිනිසා ද අයත් වන්නේ මේ ගණයටය. 


මානව පරිණාම කතාව
නූතන මිනිසා අද සිටින තත්වයට පත්වීමට දිගු ගමනක් පැමිණ ඇත. මිනිසා අයත් වෙන්නේ පෘෂ්ඨවංශිකයින් අතර සිටින මමාලියා ගණයට අයත් යුතේරියා (Eutheria) නමින් හැඳින්වෙන උප සත්ත්ව වර්ගයටය. ක්ෂීරපායීන් ගෝත‍්‍ර 15 කට බෙදේ. ඒවා අතුරින් අගේ‍්‍රශ හෙවත් පි‍්‍රමාටේස් ගෝත‍්‍රය (Primate Order) ප‍්‍රධාන තැනක් ගනී. වඳුරන්, වානරයින් සහ මිනිසා අයත් වන්නේ මෙම ගෝත‍්‍රයටයි.

පි‍්‍රමාටේසයෝ
මීට වසර බිලියන 70 කට පමණ පෙර සෙනොසොයික නමින් හැඳින්වෙන භූ විද්‍යාත්මක යුගයේදී ප‍්‍රිමාටේසයන් හෙවත් අගේ‍්‍රශයන්ගේ ආරම්භය සිදුවූ බව පැහැදිලි ය. මුල්ම ප‍්‍රිමාටේසයන් විවිධ පරිසර තත්ත්වයනට ඔරොත්තු දීමේ හැකියාව තිබූ රුක්වාසී ජීවිතයකට හුරු වූ කුඩා ක්ෂීරපායී විශේෂයකි. මොවුන්ට විවිධ පරිසර විපර්යාසයන්ට ඔරොත්තු දෙමින් අනුවර්තනය වෙන්න සිදුවිය. පරිසරයට හැඩ ගැසීමට නොහැකි වූ ඇතැම් ප‍්‍රිමාටේසයෝ වඳවී ගියහ.

ප‍්‍රිමාටේසයන්ට පොදු ලක්ෂණ කිහිපයක්
ශරීරයේ පමණට වඩා විශාල මොළයකින් යුක්ත වීම
අඝ‍්‍රාණ ශක්තිය දුර්වල වීම
කුඩා කෙටි හනුවක් පිහිටීම
ගැබ් කාලය දීර්ඝ වීම
අත් සහ පාදවලින් ග‍්‍රහණය කිරීමේ හැකියාව
චලනය කළ හැකි ඇඟිලි පහක් තිබීම
පාඇඟිලිවල නිය තිබීම
තියුණු දෘෂ්ටියක් තිබීම

පි‍්‍රමාටේසයන්ගේ ආදීතමයා: ලෙමූර්
ප‍්‍රිමාටේසයන්ගේ ආදීතමයා ලෙස සැලකෙන්නේ ලෙමූර් වඳුරන්ය. අද මැඩගස්කරයේ ලෙමූර් වඳුරන් අපට දකින්නට ලැබේ. පොසිල සාක්ෂි අනුව ලෙමූර් වඳුරන්ගේ ආදීතමයා ලෙස සැලකෙන්නේ නොදර්ක්ටස් (Notharctus) නමින් හැඳින්වෙන ඉයෝසීන යුගයට අයිති ලෙමූර් වඳුරාය.

ට‍්‍රාසොයිඞ්
ලෙමූරයිව්ගෙන් පසු අපට හමුවන්නේ ට‍්‍රාසොයිඞ් (Trasoids) නම් ප‍්‍රිමාටේසයන්්ය. මොවුන්ගෙන් පැවැත ආ ට‍්‍රාසියස් (Trasius) වඳුරෝ අදත් රටවල් කිහිපයක ජීවත් වෙති.

ප‍්‍රාථමීක වඳුරන්ගේ කතාව
මුලින්ම බිහිවූ ප‍්‍රාථමීක ප‍්‍රිමාටේසයන් අතර ලීමර්, ටාසියර් වඩාත් ප‍්‍රචලිතය. මෙම ප‍්‍රාථමීක ප‍්‍රිමාටේසයන් අතරින් එක් සත්ත්වයකුගෙන් වඳුරන්ගේ පූර්වජයා බිහි වී ඇත. ඒ මීට වසර මිලියන 40 කට පමණ ඉහත දීය. අනතුරු ව වසර මිලියන 28 ක් පමණ වනතුරු වඳුරෝ ඉතා විශාල වශයෙන් ලොව පුරා ව්‍යාප්තව සිටියහ. මෙම කාලයේදී මහද්වීප ප්ලාවිතය සිදුවිය. එනම් අප‍්‍රිකා හා ඇමෙරිකා මහද්වීප වෙන්වීමයි. එහිදී එකල ජීවත් වූ වඳුරන් ද වෙන් විය. එමඟින් කලක් ගත වන විට එකිනෙකට වෙනස්කම් දක්වන වඳුරු වර්ග දෙකක් බිහි විය. අප‍්‍රිකාවේ ඉතිරි වූ වඳුරන්ගෙන් පැවැතෙන්නන් පැරැණි ලොව වඳුරන් ලෙස ද, ඇමෙරිකා භූමියේ ඉතිරි වී විකාශනය වූ වඳුරෝ නූතන ලොව වඳුරන් ලෙස ද හඳුන්වති. පොදුවේ මෙම වඳුරන් හඳුන්වන්නේ උසස් ප‍්‍රිමාටේසයන්ගේ ආරම්භක අවධිය ලෙසයි.


දියුණු පි‍්‍රමාටාවෝ
උසස් ප‍්‍රිමාටේසයන්ගේ ආදීතමයා වසර මිලියන 26 කට ඉහත වාසය කළ ප්‍රොකන්සල් (Proconsul) නම් කුඩා ඒප්පයාය. අඩි දෙකක් පමණ උස මේ සතකුගේ හිස් කබලක් නැගෙනහිර අප‍්‍රිකාවෙන් හමු වී ඇත. මෙම ප‍්‍රිමාටේසයන්ගේ ඥාතීන්ගේ පොසිල යුරෝපය හා ඉන්දියාව වන රටවලින් ද හමු වී තිබේ. චිම්පන්සි, ගොරිල්ලා, ඔරන්උටන් සම ගිබන් මෙම පරපුරේ නූතන සාමාජිකයන්ය.

ඒප්ස් හෙවත් මහා වානරයන්
මහා කපීන් හෙවත් ඒප්ස් (Apes) යන නම්වලින් හඳුන්වන වානරයන් හා මිනිසා අයත් වන හොමිනොයිඩියා, හොමිනොයිඞ් (Hominoidia, Hominoid) යන උපරි කුලයේ පූර්වජයන් මීළඟට බිහිවූ පරපුරයි. මොවුන් පරිණාමය වූයේ පැරණි ලොව වඳුරන්ගෙනි. මුල්ම හොමිනොයිඞ් සාමාජිකයන් බිහිවී ඇත්තේ මීට වසර බිලියන 35 කට පමණ පෙරදීය. චිම්පන්සි, ගෝරිල්ලා, ගිබන් සහ ඔරන්උටන් වර්තමාන මිනිසා සමඟ ජීවත්වන හොමිනොයිඩියාවන් වේ.


වඳුරන් වානරයන්ගෙන් වෙනස් වන හැටි
වඳුරන්ගේ වලිගයක් ඇති අතර වානරයන්ට එය නොමැත.
වඳුරා සිවුපාවලින්ද වානරයින් සිව්පාවලින් මෙන්ම දෙපයින්ද ගමන් කරයි.
වඳුරන් ගස් උඩ ඇවිදින අතර වානරයින් අතුවල එල්ලී ගසින් ගසට මාරුවේ.
වඳුරන්ට සාපේක්ෂව වානරයින්ගේ මොළය විශාලය.

මයෝසීන යුගයේදී
මයෝසීන යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර මිලියන 24 - 25 ත් අතර කාලයයි. එවකට ඉතිරි ව සිටි අප‍්‍රිකා වානරයෝ විශාල ලෙස ව්‍යාප්තව ගියහ. මොවුන් ‘මයෝසීන වානරයින්’ ලෙස හඳුන්වයි. මොවුන්ගෙන් එක් කොටසකින් ලොව පළමු මානවයන් බිහිවිය. ඒ අනුව මානව පවුලේ ආදිමයා හොමිනිඞ් (Hominid) ය. මොවුන් මානවයන්ගෙන් පමණක් නොව ගොරිල්ලාවන්ගේ ද පූර්වජයින්ය. විශේෂ ජීව ක‍්‍රියාවලියකට හැඩගැසුණු සත්ත්ව කොටසක් ලෙසට හොමිනිඞ් පවුලට වසර මිලියන 5 ක් පමණ ඉතිහාසයක් ඇත.

හොමිනිඞ් පවුලේ වතගොත
ඉහත දැක්වූ හොමින්ඞ් පවුලෙන් බිඳී ආ මානව පූර්වජයා ආරම්භ කළ උප පවුල හඳුන්වන්නේ හොමිනින් (Hominin) ලෙසිනි. ඔවුහූ හොමිනිඞ් මානවයන්ට වඩා හොඳින් දෙපයින් ගමන් කරති. එය මානව පවුලේ දිගු ගමනකට මනා පිටුවහලකි.

දේශගුණික වෙනස්කම්වල බලපෑම්
දේශගුණික වෙනස්කම් නිසා මිහිතලය වසාගෙන පැවැති ඝන වනාන්තර තුනී වී තණ බිම් නිර්මාණය වී ඇත. එක් වනාන්තරයකින් තවත් වනාන්තරයකට යාමේ දී විශාල තණබිම් තරණය කිරීම මෙම ආදී මානව පූර්වජයන් ලැබූ වාසියකි. මේ ආකාරයට අදින් වසර මිලියන 5 ක් 6 ක් අතර සිට මානව විකසනය සිදුවූ ආකාරය පොසිල සාධක මගින් විස්තර කළ හැකිය. ඒ අනුව මානව පරිණාමයේ ප‍්‍රධාන පියවර මෙසේය.

ඔරෝරින් ටුජෙනෙන්සිස් (Ororin Tugenensis)
දැනට ලැබී ඇති සාධකවලට අනුව ඔරෝරින් යනු මුල්ම මානව පූර්වජයායි. වසර මිලියන 6 ක් පමණ පැරැුණි සාක්ෂි කෙනායාවෙන් හා ඉතියෝපියාවෙන් හමුවී තිබේ.

ආඩිපිතකස් (Ardipithecus)
මානව පවුලේ මුල්ම සාමාජිකයා ආඩිපිතකස්ය. නමුත් මොහු මුල් ම මානවයා නොවේ. මානවයාගේ මුල් ම පුරුක වූයේ ඔස්ට්‍රොලෝපිතකස්ය. නමුත් වර්ෂ 1977 සිට 2001 දක්වා කාලය තුළ සිදු කළ ගවේෂණවල දී ආඩිපිතකස් සාධක හමුවී ඇත. මොවුන් මීට වසර මිලියන 5.8 - 4.4 ත් අතර ජීවත්ව තිබේ. මෙසේ පළමු මානවයාට හිමි සාධක මොහුට ලැබුණත් තවමත් ඒ පිළිබඳ අධ්‍යයනයන් අවසන් කර නැති බැවින් පළමු මානවයා ලෙස පිළි නොගැනේ. ආඩිපිතකස් යනු භූමි වානරයා (Ground Ape) යන්නයි. මෙම වානරයා අඩි 4 ක් පමණ උසැති බව සොයා ගෙන තිබේ.

ඔස්ට්‍රොලෝපිතකස් (Austrolopithecus)
ආඩිපිතකස්ගෙන් පරිණාමය වන්නට ඇතැයි සැලකෙන මානව පූර්වජයා ඔස්ට්‍රොලෝපිතකස්ය. දැනට යඩාත් පැහැදිලි ලෙස තොරතුරු අණාවරණය වී ඇති ආදීතම මානව පූර්වජයා මොහුය. මෙම අවධිය පිළිබඳ ව ලැබෙන පොසිල වාර්තා අනුව මෙම අවධියේ දී මානව ලක්ෂණ සහිත මුල්ම ජීවීන් බිහිවී ඇත. පුරාවිද්‍යාඥයින් විසින් ඔස්ට්‍රොලෝපිතකස් මානව පොසිලයක් මුල්වරට සොයා ගනු ලැබුවේ 1974 දී ඉතියෝපියාවේ ඇෆර් (Afar) නම් ප‍්‍රදේශයේ කළ කැණීමකිනි.

අපේ පැරණිම අම්මා : ‘ලූසී’
සොයා ගත් මෙම පොසිලය ස්ත‍්‍රියකගේ වූ අතර එය ‘ලූසී’ යනුවෙන් නම් කරන ලදී. මෙම විශේෂයට ම අයත් පොසිල ටැන්සානියාවේ ලිටොට් නම් ගම්මානයේ දී හමුවී ඇත. ‘ලූසී’ අදින් වසර මිලියන 3.2 කට පෙර ජීවත් වූ අඩි 3 1/2 ක් පමණ උසකින් යුතු මානවයෙකි. මේ වන විට හඳුනාගත් ඔස්ට්‍රොලෝපිතකස් විශේෂ කිහිපයක් වේ. ලූසී අයත් වන ඔස්ට්‍රොලෝපිතකස් ඇෆ්රෙන්සිස් (Austrolopithecus Afarensis) විශේෂයට පසුව ඔස්ට්‍රොලෝපිතකස් ඇෆ්රිකානස් (Austrolopithecus Africanus), ඔස්ට්‍රොලෝපිතකස් ඊතියෝපිකස් (Austrolopithecus Aethiopicus), ඔස්ට්‍රොලෝපිතකස් බොයිසේ (Austrolopithecus Boisey), ඔස්ට්‍රොලෝපිතකස් රෝබස්ටස් (Austrolopithecus Robustus), ඔස්ට්‍රොලෝපිතකස් බොයිසේයි (Austrolopithecus Boiseai) ආදී විශේෂවල පොසිල තොරතුරු මානවවංශ විද්‍යාඥයන්ට මේ වන විට හමු වී තිබේ.

හෝමෝ හැබ්ලිස් අවධිය (Homo Habilis)
දෙපයින් නැගී සිටි මොළය සැලකිය යුතු ලෙස වර්ධනය වූ මුල් ම මානවයා හෝමෝ හැබිලිස්ය. වර්ෂ 1960 දී නැගෙනහිර අප‍්‍රිකාවේ ඔල්ඩුවායි දොරුවෙන් පොසිල සාක්ෂි සොයා ගන්නා ලදී. මොහු අදින් වසර මිලියන 2.4 - 115 ත් අතර කාලයේ වාසය කර ඇත. මෙම කාලය අයත් වන්නේ ප්ලයිස්ටෝසීන යුගයටය. මෙය මිහිමත අධිත ශීත කාල පරිච්ෙඡ්දයකි. ඔල්ඩුවායි දොරුවෙන් හමුවූ පොසිලවලට අමතරව ටැන්සානියාවෙන්, ඉතියෝපියාවෙන් දකුණු අප‍්‍රිකාවෙන් හා කෙන්යාවෙන්ද මෙම මානව වර්ගයේ පොසිල ලැබී ඇත. මේ අනුව හෝමෝ හැබ්ලිස් අප‍්‍රිකාව පුරා ව්‍යාප්තව සිටි බවට කරුණු හෙළිවේ.

මානව පවුලේ වැඩකාරයා: හෝමෝ හැබිලිස්
හෝමෝ හැබිලස් පරිණාමය වූයේ ඔස්ට්‍රොලෝපිතකස් ඇෆ්රැන්සිස්ගෙන් බවට විද්‍යාඥයන් අතරේ මතයක් පවතී. මාංශ භක්ෂණයට නැඹුරු වූ මුල් ම මානවයා මොහුය. එමෙන් ම හෝමෝ හැබිලස්ගේ කපාල ධාරිතාව (500 - 800 ත් අතර) වැඩි වීමක් ද ශරීරය විශාල වීමක් ද දක්වයි. මානව පවුලේ ආරම්භය ද හැබිලස් යුගයේ දී සිදු විය. සමූහ වශයෙන් ගල් ලෙන්වල ජීවත් වූ හැබිලස් මුල් ම පවුල් සම්බන්ධතා ද ගොඩ නඟා ගෙන ඇත. හෝමෝ හැබිලස් යනුවෙන් මොහු හැඳින්වීමට හේතුවූයේ ශිලා ආයුද නිමවීමට හා සංස්කෘතියක් ඇරැඹීමට ගත් උත්සාහය නිසයි. ඒ අනුව ‘සත්‍ය මානවයා’ එනම් නිපුණ කාර්්යයශූර මානවයා ලෙස ද හැබිලස් හඳුන්වා ඇත.

හෝමෝ ඉරෙක්ටස් (Homo Erectus)
මානව පරිණාමයේ තුන්වැනි අවධිය හෝමෝ ඉරෙක්ටස් අවධියයි. අදින් වසර මිලියන 2.5 - 1.5 ත් අතර කාලයකදී මෙම මානවයා ජීවත් වී ඇත. පොසිල සාක්ෂිවලට අනුව අදින් වසර මිලියන 1.6 කට පෙර බිහි වූ මෙම මානවයා උතුරු අප‍්‍රිකාවේත්, දකුණු යුරෝපයේත් ඉන්පසු දකුණු ආසියාවේත් ඉන්දුනීසියාවේ ජාවා දක්වාත් පැතිරී ජීවත්වී ඇති බව පෙන්වා දෙයි.

ජාවා මිනිසා
ආසියාවේ ජාවා (වත්මන් ඉන්දුනීසියාවේ) ප‍්‍රදේශයෙන් මුල් ම හෝමෝ ඉරෙක්ටස් පොසිල හමු වී ඇත. ඒ අනු ව මුල් ම හෝමෝ ඉරෙක්ටස් ‘ජාවා මිනිසා’ ලෙස හඳුන්වයි. මීට පසු ද ලෝකයේ බොහෝ රටවලින් මීට අයත් පොසිල හමු වී තිබේ. යුරෝපයේ හයිඞ්ල්බර්ග්, හංගේරියාවේ වර්බසෙල්ලා, ගී‍්‍රසියේ පෙට්රාලෝ, ස්පාඤ්ඤයේ ටොර්රල්බාල් සහ ඇම්බෝනා සහ ප‍්‍රංශයේ ටෙරා අමාටා යනාදී ප‍්‍රදේශ මේ අතර කිහිපයකි.

‘සෘජු මිනිසා’ හෙවත් හෝමෝ ඉරෙක්ටස්
මානව පරිණාමයේ හෝමෝඉරෙක්ටස්ට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. සිරුර කෙළින් තබා ගෙන ඇවිදීමට තිබූ හැකියාව නිසා ‘සෘජු මිනිසා’ යන අර්ථයෙන් ‘හෝමෝ ඉරෙක්ටස්’ ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. ප්ලයිස්ටෝසීන හෙවත් ග්ලැසියර අවධිය ලෙස මොවුන් ජීවත් වූ කාලය හැඳින්වෙයි. මෙම අවධියේදී උෂ්ණත්ව වෙනස්වීම්වලට අනු ව පාරිසරික වෙනස්වීම් ද සිදුවිය. හෝමෝ ඉරෙක්ටස්ගේ සංස්කෘතික වශයෙන් වෙනස්වීම් රාශියක් ද මේ යුගයේ සිදුවිය.


මොළේ බලෙන් වැඩ කිරීම
දියුණු මොළයක් තිබූ ‘ඉරෙක්ටස්’ මානවයා සතුන් හා ශාක හීලෑ කිරීමේ කාර්යයේ යෙදී ඇත. තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී උපකරණ භාවිතය යම් දියුණු මට්ටමක තිබී ඇත. ගලින් නිම කළ අත් පොරොවක හැඩය ගත් ආයුදයක්, මන්නයක් මෙන් පැතැලි තලයක්, සීරීම සඳහා යොදාගත් පතුරු යනාදී ආයුද කට්ටල භාවිත කළ බවට සාධක හමු වී තිබේ. චීනයේ හා වෙනත් නැගෙනහිර හා අග්නිදිග ආසියානු හෝමෝ ඉරෙක්ටස්වරු ලීවලින් සඳාගත් උපකරණ භාවිත කර ඇති බවට සාධක වේ.

ගින්දර හමුවීමෙන් පසු වෙනස්කම් රැසක්
ගින්දර පිළිබඳ මුල් ම සාධක මේ මානවයන්ගෙන් ලැබේ. ස්වභාවයෙන් ම ඇති වූ ගින්නකින් හෝ ගලකින් ගලකට ගසන අවස්ථාවක ලද අත්දැතීමකින් ඔවුන් ගින්දර හඳුනාගන්නට ඇත. ගින්නෙන් පිළිස්සූ ආහාර ගැනීමට පෙලඹීමෙන් ඉරෙක්ටස් යුගයේ මානවයා විශාල වෙනස්කම් රැසක් උරුම කර ගත්තේය. ජීර්ණය පහසුවීම නිසා මානව පරිණාමයේ නව ප‍්‍රවණතා ඇති විය. දත් සහ හකුවල වෙනස්කම් සිදුවිය. මොවුන් ගල්ලෙනක් හෝ සරල ව සාදාගත් අතු පැලක් තම කණ්ඩායමට වෙන්කර ගැනීම විශේෂිතය. සීතලෙන් ආරක්ෂාවීමට සත්ත්ව සම් පෙරවීම මෙකල පටන්ගෙන ඇත.


ප‍්‍රාග් නූතන හෝමෝ සේපියන්ස් : (Archaic Homo Sapiens)
අදින් වසර 50,000 කට පෙර හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් හෝමෝ සේපියන් මානවයා පරිණාමය වූ බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. මොවුන් අතරින් හෝමෝ සේපියන් නියන්ඩර්තාලෙන්සිස් හෙවත් නියැන්ඩතාල් මානවයා හෝමෝ සේපියන්ගෙන් පැවත ආ උප විශේෂයකි. මෙම උප විශේෂය අදින් වසර 35,000 - 75,000 අතර කාලයේ යුරෝපයේ හා ආසියාවේ බෙහෙවින් ව්‍යාප්ත වී ඇත.

හෝමෝ නියැන්ඩර්තාල් (Homo Neanderthalensis)
අප‍්‍රිකාවේ සහ යුරෝපයේ සිටි ‘ඉරෙක්ටස්’ මානවයින් නූතන හොමෝ සේපියන් බවට පරිවර්තනය වී ඇත. මොවුන් අතරින් යුරෝපයේ ව්‍යාප්ත වූ ප‍්‍රාග් නූතන මිනිසා විශේෂ තැනක් ගනී. ඔහු පිළිබඳ මුල් ම තොරතුරු ලැබුණේ ජර්මනියේ නියැන්ඩර් (Niender) නිම්නයෙනි. එම නිසා මෙම මානවයා නියැන්ඩර්තාල් ලෙස හඳුන්වයි. අදින් වසර ලක්ෂ දෙකහමාරක පමණ කාලයක සිට වසර 45 දහස පමණ දක්වා මිහිමත මොවුන් ජීවත් වී ඇත. යුරෝපයේ බොහෝ ප‍්‍රදේශවල එනම් ස්පාඤ්ඤය, ප‍්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, චෙකොස්ලොවේකියාව, හංගේරියාව, බල්ගේරියාව, යුගොස්ලාවියාව, උස්බෙකිස්තානය, ඊශ‍්‍රායලය, ඉරානය, ලෙබනනය, ලිබියාව, මොරොක්කෝව යන ප‍්‍රදේශවලින් ද නියැන්ඩර්තාල් පොසිල හමු වී ඇත.

නියැන්ඩර්තාල් ප‍්‍රධාන ලක්ෂණ
මෙතෙක් පැවැති මානවයන්ට වඩා මොළය විශාලය. හිස්කබලෙහි (කපාල) ධාරිතාව 156 cc-174 cc අතර තිබේ. විශාල ඇස් කුහර ඉතා පළල් නාසය ඉදිරියට නෙරූ උඩු හනුව නියැන්ඩර්තාල්ට විශේෂ වූ ලක්ෂණයකි. අඩි 5 ක් පමණ උසැතිය. පළල් පපු ප‍්‍රදේශයක් වේ. හොඳින් වැඩුණු දෑත් හා පාදවලින් යුක්ත විය. ඉතා හොඳ කථන හැකියාවක් තිබී ඇත. නියැන්ඩර්තාල් භාවිත කළ ආයුද හඳුන්වන්නේ මුස්ටි‍්‍රයන් (Mousterian) ආයුද ලෙසයි. මෙම ආයුද අතර ශිලා අත්පොරව, පතුරු හෙල්ල, පැතලි අවි විශේෂිතය. මානව පරිණාම කි‍්‍රයාවලියේ මුල් වරට මළවුන් මිහිදන් කිරීම සිදුවී ඇත්තේ නියැන්ඩර්තාල් යුගයේ දීය. මෙම කාලයේ ප‍්‍රාථමීක මට්ටමේ ඇදහිලි විශ්වාස ද පැවැතිණි.

නූතන මිනිසා: හෝමෝ සේපියන්ස් සේපියන්ස් (Homo Sapiens Sapiens)
විසිවන සියවසේ මුල් භාගයේදී මානව පරිණාමය පිළිබඳ ඉදිරිපත්වූ අදහස් හා ලැබුණු සාධක මත නූතන මිනිසා එනම් හෝමෝ සේපියන් විකාශනය වූයේ හෝමෝ නියැන්ඩර්තාල් යැයි විශ්වාස කෙරේ.

ශී‍්‍ර ලංකාවේ ආදී මානවයා
අප ඉහත සඳහන් කළ පරිදි නූතන හෝමෝ සේපියන්ස් සේපියන්ස්ගේ සංක‍්‍රමණය සනාථ කරන සාධක ලෝකයේ ප‍්‍රදේශ බොහොමයකින් ලැබේ. යුරෝපයේ මෙන්ම ඊශ‍්‍රායලය, බර්නියෝ, ඕස්ටේ‍්‍රලියාව, නැගෙනහිර සයිබීරියාව ආදී ප‍්‍රදේශයන්ගෙන් නූතන මිනිසාගේ සාධක හමු වී තිබේ. එහි දී අද සිටින ශාරීරික ස්වරූපයෙන් ම අදින් වසර 40 - 50 දහසක අතර කාලයක සිට මෙම නූතන මිනිසා ජීවත් ව තිබේ. ජපානයේ නූතන මිනිසා පැමිණ ඇත්තේ මීට වසර 24 දහසකට පෙර දී ය. දකුණු ආසියාවේ නූතන මිනිසා මුල් වරට පා තැබූ බව සහතික කෙරෙන පැරණි ම සාධකය ලැබෙන්නේ ශී‍්‍ර ලංකාවෙනි.


ශී‍්‍ර ලංකාවේ නූතන මිනිසා හමුවූ ස්ථාන
ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් අදින් වසර 38 දහසකට පෙර සිට නූතන මිනිසා ජීවත් වූ බවට තොරතුරු හමු වී තිබේ. මානව හිස්කබල් සහ වෙනත් පොසිල සාධක මගින් මෙම තොරතුරු ලැබී ඇත. එහිදී මීට වසර 29 දහස දක්වා අවධිය පැහැදිලි ව ම සනාථ කර තිබේ.

කුරුවිට එක්නැලිගොඩ බටදොඹ ලෙන
කුරුවිට එක්නැලිගොඩ බටදොඹ ලෙන මෙම තොරතුරු හමු වූ ස්ථාන අතරින් ප‍්‍රධාන තැනක් ගනී. මෙය පර්යේෂණ ප‍්‍රදේශයක් බවට මුලින් ම පත්වුණේ වර්ෂ 1960 දීය. පසුව 1980 සහ 1982 අතර කාලයේ දී මෙහි සාර්ථක පුරාවිද්‍යා පර්යේෂණයන් සිදු කෙරිණි. මිනිස් අවයවවලට අදාළ පොසිල, ගල් අවි ආයුද සත්ත්ව ඇටකටුවලින් තැනූ උපකරණ මෙහි දී හමු වී තිබේ. එමෙන් ම මෙම හිස්කබල් සහ අනෙක් අවයව මීට වසර 29 දහසකට පෙර වූ ඒවා බව ප‍්‍රාග් මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ස්ථානයෙන් හමු වූ තවත් පුරාවිද්‍යාත්මක සාධක අතර සිප්පි කටු මාල හා හෝමෝ සේපියන්ස් සේපියන්ස් භාවිත කළ උපකරණවලට වැදගත් තැනක් හිමි වේ.


බුලත්සිංහල පිහියන්ගල ලෙන
1986 දී බුලත්සිංහල පාහියන්ගල ලෙන ආශ‍්‍රයෙන් වසර 28 දහසකට වඩා පැරැණි නූතන මිනිසාගේ හිස්කබල් තුනක් හමු වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම හිස්කබල්වල ගුරුගල්වලින් (වර්තමාන ගඩොල්වලට සමාන) තැනූ ආලේපයක් තවරා තිබීමය. මෙය ඒ කාලයේ පැවැති චාරිත‍්‍රයක් ලෙස සැලකේ.

තවත් සාධක හමුවූ ස්ථාන ...
මීට අමතරව දකුණේ බුන්දල, පතිරාජවෙල, කිතුල්ගල, බෙලිලෙන, කෑගල්ලේ දොරවක ලෙන යන ස්ථානවලින් මේ කාලයේ ජීවත් වූ පැරැණි මිනිසා ගැන තොරතුරු ලැබී ඇත. ඊට අමතරව වලවේ නිම්නයෙන් බෙල්ලන් බැඳි පැලැස්සක්ද හමුවූ පොසිල සාධක අතර තිබේ.

බලංගොඩ මානවයා
ඉහත සාධක පිළිබඳ අධ්‍යනය යොමු කිරීමේ දී මීට වසර 29 දහසක සිට 11 දහසක් දක්වා නූතන මිනිසා වාසය කර ඇති බව පිළිගැනේ. එමෙන් ම නූතන මිනිසා පිළිබඳව ලංකාව තුළ වැඩි ම තොරතුරු හමුවූයේ සබරගමු ප‍්‍රදේශයෙනි. එමනිසා ලංකාවේ වාසය කළ පැරණි ම මිනිසා ‘හෝමෝ සේපියන්ස් සේපියන්ස් බලංගොඩ’ යනුවෙන් හඳුන්වා ඇත. අපි ‘බලංගොඩ මානවයා’ යනුවෙන් හඳුන්වන්නේ මොහුවය.

මානව පරිණාමය නිමානොවූ මෙන් ම කිසිවිටෙක නිමා නොවෙන ක‍්‍රියාවලියකි. මෙතෙක් දත් කරුණුවලට අනුව ඉතා සුළු ශරීර වෙනස්කමක් සිදුවීමට වසර ලක්ෂ ගණනක් ගත වී තිබේ. මෙහෙයින් නූතන මිනිසා ද ඉදිරියේ දී වෙනස්කම්වලට ලක්වීම අනිවාර්ය ස්වභාවයකි

Related Posts

3 comments

  1. බොහෝම ස්තූතීයි. මට ඕනි විස්තර ගොඩාක් ගොඩාක් හම්බව්නා .🙂🙂🙂🙂👩‍🎓✌️👍👏👌🎓

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි 🙏 නොදන්නා දේවල් බොහෝමයක් දැනගත්තා 😀😀

    ReplyDelete
  3. බොහොම ස්තුතියි කරුණු ගොඩක් හම්බවුනා

    ReplyDelete

Post a Comment