රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඹස්සේ පණිවිඞ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්ෂණය යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ. මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනතාවට ලබා දෙති.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ එම බලපත්‍ර නිකුත් කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. ලොව පුරා අාධුනික ගුවන් ව්දුලි සන්නිවේදන බලපත්‍රලාභීන් මිලියන 3 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි බලපත්‍රලාභීන් ගණන 200 ක් පමණ වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීහු තම නිවෙස් වල සිට ලොව පුරා සිටින තවත් ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කර ගනිති. මිත්‍රත්ව ගොඩනගා ගනිති. පණිවිඩ හුවමාරුවට පරිගණක, මෝස් සඥා ක්‍රමය පවා උපකාර කර ගනිති. සමහර අවස්ථාවලදී අතේ ගෙන යා හැකි කුඩා සම්ප්රේෂණඋපකරණ, අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ද පණිවිඩ හුවමාරුව සඳහා උපකාර කර ගැනේ.
ආධුනික ගුවන් විදුලි ශිල්පය ලොවට හඳුන්වාදී වසර 90 කට වැඩිවන අතර එහි ඕනෑම වයස් කාණ්ඩයක, ඕනෑම වෘත්තියක් කරන අයට නියැලිය හැක. අවුරුදු 16 පමණ පාසැල් සිසුන් හා අවුරුදු 80 වයසැති විශ්‍රාමිකයෝ ද ඒ අතර සිටිති. ගුරුවරු, ශිෂ්‍යයින්, ගොවීන්, ගණකාධිකාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් යන සෑම පසුබිමකින්ම යුත් වෘත්තිකයෝ ඒ අතර වෙති. බාල වියේදී මෙය විනෝදාංශයක් වශයෙන් ආරම්භ කළ සමහර ශිෂ්‍යයෝ පසු කලෙක වෘත්තියෙන් ඉලෙක්ටේරානික ඉංජිනේරුවන් බවට පත්වී සිටිති.
අධුනික ගුවන් විදුලි බලපත්‍රලාභී ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ස්පාඤ්ඤයේ කාලොස් රජු, තායිලන්තයේ භූමිපාල් රජු, රජීව් ගාන්ධි, සෝනියා ගාන්ධි, ප්‍රථමයෙන් අභ්‍යවකාශයට ගිය යූරි ගගාරින්, නේපාලයේ හිටපු බිරේන්ද්‍ර රජු හා ප්‍රසිද්ධ නළු මාර්ලන් බ්රැන්ඩෝ ද වෙති.
මෙම විනෝදාංශයේ නියැලෙන අය තම තමන්ගේ හැකියාව හා කැමැත්ත ඇති අංශ වල විශේෂඥ දැනුමක් පවා ලබති. සමහරු ඉලෙක්ට්‍රොනික පරිපථ සෑදීමද, තවත් සමහරු ඇන්ටෙනා සෑදීම ආදියද කරති. අද තිබෙන නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් ජනිත කිරීමට සමහර ආධුනික ගුවන් විදුලි ශිල්පීන් දායක වී ඇත.
ආධුනික ගුවන් විදුලි ශිල්පී බලපත්‍රයක් ලබා ගැනීමට ඒ සඳහා පවත්වන විභාගය සමත් විය යුතුය. එම විභාගය ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික සිද්ධාන්ත හා රෙගුලාසි වලින් සමන්විත වන අතර සමහර බලපත්‍ර කාණ්ඩ සඳහා මෝස් සංඥා පරීක්ෂණයකින්ද සමත් විය යුතුය. නීත්‍යානුකූලව ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් ක්‍රියාකරවීමට රජයෙන් ඒ සඳහා ලබාගත් වලංගු බලපත්‍රයක් තිබිය යුතුය. බලපත්‍රලාභීන්ට තමතමන්ගේ බලපත්‍ර කාණ්ඩයට අදාළ තරංග මාලාවල සම්ප්‍රේෂණ කටයුතු කළහැකි අතර තමන්ගේ සම්ප්‍රේෂණ යන්ත්‍ර නිර්මාණයට, සෑදීමට, වැඩිදියුණු කිරීමට හා අලුත්වැඩියාවට එමගින් අවසර ලැබේ.
මෙම විනෝදාංශය පරතෙරටම කරන සමහරු චන්ද්‍රිකා භාවිතයෙන් පණිවිඩ හුවමාරුව, අන්තර්ජාලය හා සම්බන්ධව ගුවන්විදුලි තරංග භාවිතයෙන් පණිවිඩ හුවමාරුව පවා කරති. තවත් සමහරු අභ්‍යවකාශයට යන ගගනගාමීන් සමගද පෘථිවියේ සිට පණිවිඩ හුවමාරු කර ගනිති.
ආධුනික ගුවන් විදුලි ශිල්පය හුදෙක් විනෝදාංශයක් වශයෙන් පමණක් නොව මහජනතාවට සේවය සැපයීම සඳහාද භාවිතා කෙරේ. ආපදා අවස්ථාවල දී සාමාන්‍ය සන්නිවේදන පද්ධති අඩාල වූ විට ආධුනික ගුවන් විදුලි ශිල්පීහු ස්වේච්ඡාවෙන්ම තම සේවය ලබා දෙති. මෑතදී ඇතිවූ සුනාමී ඛේදවාචකයේදී දුරකථන හා පණිවිඩ සන්නිවේදන පද්ධති අඩපණ වූ විට ආපදා සහන කටයුතු සම්බන්ධීකරණයට අවශ්‍ය පණිවිඩ හුවමාරු කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ආධුනික ගුවන් විදුලි ශිල්පීහු තම උපකරණ හා සේවය සැපයීමෙන් මහඟු සේවයක් කළහ.
ශ්‍රී ලංකා ආධුනික ගුවන් විදුලි සංගමය (The Radio Society of Sri Lanka – RSSL )
1950 දී පිහිටුවන ලද මෙම සංගමය ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්ගෙන් සැදුම්ලත් ජාතික සංගමය යි. එය ජාත්‍යන්තර ආධුනික ගුවන් විදුලි සංගමයට (International Amateur Radio Union) අනුබද්ධය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය සමාගම් පණත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථා ගතකර ඇත. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය ගැන උනන්දුවක් දක්වන ඹ්නෑම අයකුට මෙහි සාමාජිකත්වය ලබාගත හැක. සම්ප්‍රේෂණ බලපත්‍රලාභීන්ට පූර්ණ සාමාජිකත්වය ලැබෙන අතර අන් අයට ආශ්රිත සාමාජිකත්වය ලබා ගත හැක. පාසැල් සිසුන්ට ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත හැක. නවක සාමාජිකයන්ට තම සම්ප්‍රේෂණ බලපත්‍රය ලබා ගැනීමට මෙම සංගමයේ හා එහි සාමාජිකයන්ගේ සහාය ලබාගත හැක. බලපත්‍රලාභීන්ගේ අයිතීන් හා ගැටලු සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම හා ආරක්ෂක අමාත්‍යංශය සමග කටයුතු කිරීම සංගමයෙන් ඉටුවන වැදගත් ක්‍රියාවකි. මසකට වරක් සංගමයේ සාමාජිකයන් හමුවන අතර සාමාජිකයන් අතර දැනුම හා සුහදතාව වර්ධනය කිරීමට ක්ෂේත්‍ර චාරිකා, විනෝද ගමන්, වැඩමුලු ආදිය සංවිධානය සංගමය මගින් සිදු කෙරේ. සියලු සාමාජිකයන්ට මාසිකව සංගමයේ පුවත් සඟරාවද ලැබේ.
වාර්ෂික සාමාජික ගාස්තු : පූර්ණ සාමාජිකත්වය (Corporate Member) – රු. 250/-
ආශ්රිත සාමාජිකත්වය (Associate Member) – රු. 150/- ශිෂ්‍ය සාමාජිකත්වය – රු. 100
සාමාජිකත්වය ලබා ගැනීමට දැනට සිටින සාමාජිකයන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. නැතහොත් පිළිගත් පුද්ගලයෙකුගෙන් චරිත සහතිකයක් අවශ්‍ය වේ. තවද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ද අවශ්‍ය වේ.
ඉල්ලුම්පත්‍ර ලිපිනය ලියූ මුද්දර ගැසූ දිග ලියුම් කවරයක් එවීමෙන් ලබාගත හැක. නැතහොත් අන්තර්ජාල වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.
ලිපිනය : ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය (RSSL) තැ.පෙ. 907 කොළඹ
අන්තර්ජාල වෙබ් අඩවිය : www.qsl.net/rssl
ආධුනික ගුවන් විදුලි බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාදාමය
මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) මගින් පවත්වන විභාගය සමත් විය යුතුය. එය සමත් වූ පසු ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව බලපත්‍රයක් ලබා ගත හැක. බලපත්‍ර ගාස්තුව වසරකට රු. 50 – 100 දක්වා අදාළ බලපත්‍ර කාණ්ඩය මත වෙනස්වේ.
මෙම විභාගය පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණි. විභාග අයදුම් පත්‍ර රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරේ. වැඩි විස්තර හා විෂය නිර්දේශ පහත ලිපිනයෙන් ලබා ගත හැක.
විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 276 ඇල්විටිගල මාවත, කොළඹ 8.
දුරකථන 011-2689345, 011-268351, 011-2689352 අන්තර්ජාල වෙබ් අඩවිය :www.trc.gov.lk
විදුලි සංදේශ නියාමන කොමිසමේ කාර්යාලය පිහිටා ඇත්තේ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV) ආසන්නයේ ය.
ආධුනික ගුවන් විදුලි බලපත්‍ර පරීක්ෂණය
මෙම විභාගය වසරකට දෙවරක් පැවැත්වේ. ඒ සඳහා මට්ටම් තුනකින් විභාගය පැවැත්වේ. ඉලෙක්ට්‍රොනික හා ගුවන්විදුලි සන්නිවේදන තාක්ෂණය සහ ආධුනික ගුවන්විදුලි සන්නිවේදනයේ රෙගුලාසි මාලාවන් ගැන ප්‍රශ්නවලින් මෙම විභාගය පැවැත්වේ.
බලපත්‍ර කාණ්ඩ
නවක කාණඩය (Novice Class)
මෙම කාණ්ඩයේ විභාගය සැකසී ඇත්තේ බහුවරණ ප්‍රශ්න වලිනි. මෙම කාණඩය A හා B වශයෙන් කාණඩ දෙකකට වෙන් කර ඇත.
A කාණ්ඩයට විනාඩියට වචන 5ක් යැවීමේ හා ලබාගැනීමේ හැකියාව පරීක්ෂා කරණ මෝස් සංඥා පරීක්ෂණයක් අයත් වේ. මෙම කාණ්ඩයේ බලපත්‍ර වලට VHF තරංග මාලාව හා HF තරංග මාලාවේ කුඩා කොටසක් සම්ප්‍රේශන කටයුතු වලට පාව්ච්චි කළ හැක.
B කාණ්ඩයේ බලපත්‍රවලට මෝස් සංඥා පරීක්ෂණය අවශ්‍ය නැති අතර VHF තරංග මාලාව පමණක් පාවිච්චි කිරීමට අවසර ඇත.
සාමාන්‍ය කාණ්ඩය (General Class)
මෙම කාණ්ඩයට බහුවරණ ප්‍රශ්න සහිත පරීෂණයක් හා විනාඩියකට වචන 12ක මෝස් සංඥා පරීක්ෂණයක් අයත් වේ. VHF. UHF හා HF තරංගමාලා භාවිතයට මෙම බලපත්‍ර කාණ්ඩය මගින් අවසර ඇත.
උසස් කාණ්ඩය (Advanced Class)
මෙම කාණ්ඩයේ බලපත්‍ර පරීක්ෂණයට ලිඛිත පරීක්ෂණයක් හා විනාඩියකට වචන 20ක මෝස් සංඥා පරීක්ෂණයක් අයත් වේ. UHF. VHF හා HF තරංගමාලා වල වැඩි බලයකින් යුක්ත සම්ප්‍රේෂණ උපකරණ ක්‍රියා කිරීමට මෙමගින් අවසර ඇත.
(UHF හා VHF තරංගමාලා කෙටි දුර පණිවිඩ හුවමාරුවට යොදා ගැනේ. HF තරංගමාලා මගින් විශාල දුරකට, විදේශ රටවලට පවා පණිවිඩ සම්ප්‍රේෂණය කළ හැක. )
ආරාධිත සටහන කුසල් ඈපා
Secretary of RSSL – Radio Society of Sri Lanka from 2002-2005 and a licensed ham radio operator
Post a Comment
Post a Comment