-->

සූර්යග්‍රහණ ඇති වන්නේ මෙහෙමයි…


Category: General Astronomy



දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන සූර්යග්‍රහණ ඇති වන ආකාරය පිළිබද ඔබ මීට පෙර සිතා තිබෙනවාද? නෝ එසේනම් ඔබට සූර්යග්‍රහණ ඇති වන ආකාරය නිවැරදිව පැහැදිලි කල හැකිද?

රූපය-1
චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර  කිරීමේ සංසිද්ධිය සරලව සූර්යග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය මැදට(රූපය-1 ආකාරයට) පැමිණිය යුතුය. අප චන්ද්‍රයා මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන දින හැදින්වෙන්නේ අමාවක දින නමිනි. මේ අනුව සූර්යග්‍රහණයක් සිදුවනවා නම් එය සිදුවිය යුත්තේ අනිවාර්යයෙන්ම අමාවක දිනකදීය. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් සිදු නොවන බවද ඔබ හොදින් දනී. මේ පිලිබදව අපි පසුව හේතු විමසා බලමු. ඊට පෙර සූර්යග්‍රහණයක් ඇති වන ආකාරය තරමක් ගැබුරින් සොයා බලමු.  ඉහත රූපය-1 සටහනේ දිස් වන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය පිහිටන ආකාරය දැක්වෙන සටහනකි. මෙහි තද අදුරු බවකින් යුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල ‘පූර්ණ චායාව’ ලෙස හැදින්වේ. තද බවින් අඩු චන්ද්‍රයාගේ දෙවන සෙවනැල්ල ‘උප චායාව’ ලෙස හැදින්වේ. චන්ද්‍රයාගේ මේ කුමන සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුත්ගලයෙකු හට සූර්යග්‍රහණයක් දර්ශණය වේ. මුළු පෘථිවියම සැලකූ කල මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසක් බවද ඔබට පැහැදිලිය. සූර්යග්‍රහණ සුවිශේෂී වන්නේද මේ ආකාරයට පෘථිවියේ කුඩා බිම් පෙදෙසකට එය පෙනීම සීමා වන නිසාවෙනි.
රූපය-2
රූපය-1 හි දැක්වෙන චන්ද්‍රයාගේ සෙවනැල්ල මේ ආකාරයටම එකම ස්ථානයක නැවතී පවතින්නක්ද නොවේ. පෘථිවිය හා චන්ද්‍රයා, අභ්‍යවකාශයේ නිශ්චලව පවතින වස්තූන් නොවේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් කරයි. එමෙන්ම චන්ද්‍රයාද, පෘථිවිය මෙන් තමා වටා කරකැවෙමින් පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ශයක ගමන් කරයි. මේ හේතූන් නිසා පෘථිවිය මතට වැටෙන චන්ද්‍ර චායාව එකම තැන නොසිට පෘථිවියේ යම් ප්‍රදේශයක් හරහා ගමන් කරයි. පෘථිවියේ එක් ස්ථානයකට සූර්යග්‍රහණයක් දර්ශණය වන වේලාව තවත් ස්ථානයකට දර්ශණය වන වේලාවෙන් වෙනස් වන්නේ මේ නිසාවෙනි. ඉහත රූපය-2 සටහනේ තද අදුරු බවකින් යුත් පතයට යටත් වන ප්‍රදේශ වල සිටින අයට මේ සූර්යග්‍රහණය පහත රූපයේ ආකාරයෙන් දර්ශණය වේ.
මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණයක් ‘පූර්ණ සූර්යග්‍රහණයක්'(Total Solar Eclipse) ලෙස හදුන්වයි. එලෙස නම් කරනුයේ චන්ද්‍රයා මගින් සම්පූර්ණයෙන්ම සූර්යය මුහුණත අවහිර කරන බැවිනි. එමෙන්ම සූර්යග්‍රහණ ඇති වන ආකාරය අනුව වර්ග 4ක් පවතින බවද විශේෂයෙන් සදහන් කල යුතුය. ඉහත රූපය-2 සටහනේ අදුරු බවින් අඩු ගමන් මාර්ගයෙන් ආවරණය වන පෘථිවි වාසීන්ට මෙම සූර්යග්‍රහණය දර්ශණය වනුයේ, සූර්යග්‍රහණ වර්ග 4 අතුරින් තවත් එක් ආකාරයක් වන ‘අර්ධ සූර්යග්‍රහණයක්'(Partial Solar Eclipse) ලෙසිනි. මෙම ආකාරයේදී පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම නොවැසෙන අතර ඉන් කොටසක් පමනක් චන්ද්‍රයාගෙන් වැසී යයි. තවද මෙලෙස සූර්යයා, අර්ධ ලෙස වැසී යාමේ ප්‍රමාණය හෙවත් ප්‍රතිශතය ග්‍රහණයේ මධ්‍යය රේඛාවේ සිට කෙලවරට යාමේදී ක්‍රමයෙන් අඩු වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය.
අර්ධ සූර්යග්‍රහණයක් දර්ශණය වන අයුරු
වළයාකාර සූර්යග්‍රහණ(Annular Solar Eclipses)
මේ තවත් ආකාරයක සූර්යග්‍රහණ ආකාරයකි. මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරනු ලැබුවත් සූර්යය මුහුණතේ ඉතිරි කොටස වලල්ලක් ආකාරයෙන්(ඉහත රූපයේ මෙන්) චන්ද්‍රයාගේ සෙවනැල්ල වටා ඉතිරිව පවතී. වළයාකාර අවස්ථාවක් ඇති වන්නේ පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා ඉහත පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වන ආකාරයටම ස්ථානගත වන විටය. නමුත් වළයාකාර සූර්යග්‍රහණයක්,  පූර්ණ සූර්යග්‍රහණයකින් වෙනස් වීමට හේතුව වන්නේ සූර්යයා සිට චන්ද්‍රයාටත්, චන්ද්‍රයාගේ සිට පෘථිවියටත් පවතින දුර පූර්ණ සූර්යග්‍රහණයකදී පිහිටනවාට වඩා වෙනස් වීම නිසාවෙනි.
රූපය-3
ඉහත රූපය-3 සටහනේ දිස් වන්නේ වළයාකාර අවස්ථාවකදී ආකාශ වස්තූන් පිහිටන ආකාරයයි. එහි ඉහත රූපය-1 සටහනේ ආකාරයටම පූර්ණ චායාව හා උප චායාව පෙනෙන්නට තිබේ. නමුත් මෙහිදී පූර්ණ චායාව පෘථිවියට නොවැටී එය අහසේ පවතී. මෙම සූර්යග්‍රහණ පූර්ණ අවස්ථාවට පත් නොවී වළයාකාර අවස්ථාවෙන් නතර වීමට හේතුව වන්නේ මෙයයි. පූර්ණ අවස්ථාවේදී මෙන් මෙහිදීද තද අදුරු බවින් යුත් ප්‍රදේශයට යටත් වන පුත්ගලයිනට මෙය වළයාකාර අවස්ථාවක් ලෙසත් තද බවින් අඩු ප්‍රදේශ වල වෙසෙන්නන්ට අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවක් ලෙසත් දර්ශණය වේ.
අර්ධ සූර්යග්‍රහණ(Partial Solar Eclipses)
අප මේ පිළිබදව පෙර සදහන් කලෙමු. නමුත් මෙහිද යම් විශේෂ අවස්ථාවක් පවතී. එනම් දැනට ඔබට දැනගන්නට ලැබුණු ආකාරයට පූර්ණ හා වළයාකාර සූර්යග්‍රහණ ඇති වන අවස්ථාවකදී එහි අතුරු ප්‍රථිපලයක් ලෙස අර්ධ සූර්යග්‍රහණ තත්වයක් සිදු වන බවයි. නමුත් එක එල්ලේම අර්ධ සූර්යග්‍රහණ සිදු වන අවස්ථාද පවතී. මෙහිදී සූර්යග්‍රහණය නැරබිය හැකි සියලු දෙනාට එය දර්ශණය වන්නේ අර්ධ ලෙසය. පහත රූප සටහනේ දිස් වන්නේ එවැනි අර්ධ සූර්යග්‍රහණයක් ඇති වන අවස්ථාවකි. මෙහි තද අදුරු බවින් දැක්වෙන(රූපය-1 මෙන්) චන්ද්‍රයාගේ චායාවක් නොමැති බව ඔබට පෙනෙනු ඇත.
අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවකදී පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛීයව පිහිටන අවස්ථාවකට පත් නොවේ. මෙහිදී සිදු වන්නේ මෙම වස්තූන් තුනම ආසන්න වශයෙන් සරල රේඛීය අවස්ථාවකට පත් වීම පමණි. පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන් මේ පිළිබදවද සිතා බැලුවහොත් අර්ධ අවස්ථාවක් ඇති වන ආකාරය ඔබට පැහැදිලි වේවි. සමහර පොත්පත් වල සුර්යග්‍රහණ ඇති වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය සරළ රේඛීය අවස්ථාවකට පත් වීමෙන් පමණක් යැයි සටහන් කොට තිබේ. මෙය වැරදිය. මන්ද යත් සම්පූර්ණයෙන්ම අර්ධ සූරයග්‍රහණයක් ඇති වන අවස්ථාවකදී එලෙස නොපිහිටන බැවිනි. 
මේ ආකාරයේ සූර්යග්‍රහණ අර්ධ ලෙස හැදින්වූවත් එහි තේරුම සූර්යය මුහුණත අර්ධයක් වැසී යාමක් නොවේ. එයින් අදහස් වන්නේ සූර්යය මුහුණතෙන් කොටසක් පමණක් වැසී යාම බව නිවැරදිව තේරුම් ගත යුතුය.
Hybrid Eclipse (ද්විත්ව ග්‍රහණ)
ඉතා දුර්ලභ ගණයේ අවස්තාවකි. මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණ පෘථිවියේ යම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් වශයෙනුත්, තවත් ප්‍රදේශයකට වළයාකාර වශයෙනුත් දර්ශණය වීම සිදු වෙයි. මෙලෙස ග්‍රහණ අවස්ථා දෙකක් එකවර ඇති වීමට හේතු වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය අතර දුරවල් යම් සුවිශේෂී ආකාරයකට පත් වීම නිසා වන අතර පෘථිවියේ වක්‍ර බව හේතුවෙන් ග්‍රහණ ගමන් මාර්ගයේ එක් පසක සිටින අයට පූර්ණ හා අනෙක් පස සිටින අයට මෙය වළයාකාර ලෙසින්ද දර්ශණය වේ. ග්‍රහණ මාර්ගයේ මධ්‍යය රේඛාවෙන් එපිට සිටින අයට ග්‍රහණය දර්ශණය වන්නේ අර්ධ අවස්ථාවක්(පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන්) ලෙසිනි.අවසන් වරට මෙවැනි ආකාරයේ ග්‍රහණයක් දර්ශණය වූයේ 2005 වසරේදීය. 1900 සිට 2010 දක්වා දිස් වූ සියලු ද්විත්ව ග්‍රහණ පහත දැක් වේ.
1908 Dec 23
1909 Jun 17
1912 Apr 17
1930 Apr 28
1986 Oct 03
1987 Mar 29
2005 Apr 08
ඉහත ලැයිස්තුව දෙස බැලීමෙන් ඔබට මෙහි දුර්ලභ බව වැටහේවි.

ඉහත සටහනේ දැක්වෙන්නේ ද්විත්ව ග්‍රහණයක ග්‍රහණ පථයකි. පූර්ණ හා වළයාකාර ග්‍රහණ වලට වඩා මෙහි විශේෂය වන්නේ එහි පූර්ණ චායාව වැටෙන ප්‍රදේශය ඉතා කුඩා වීමයි. එසේ වන්නේ අප පෙර සදහන් කලාක් මෙන් ග්‍රහ වස්තූන් තුන විශේෂ පිහිටීමකට පැමිණ ඇති බැවිනි.
සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන්නේ ඇයි?
සූර්යග්‍රහණයක් ඇති විය හැක්කේ චන්ද්‍රයා, සූර්යයා ඉදිරියෙන් පිහිටන දිනයකදී හෙවත් අමාවක දිනයකදී පමණක් බව සූර්යග්‍රහණ ඇති වන ආකාරය අධ්‍යනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇත. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන බවද ඔබ දනී. මෙයට හේතු වන්නෙ චන්ද්‍රයාගේ කක්ශය පෘථිවි කක්ශ තලයට අංශක 5.1 ක ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා සූර්යග්‍රහණයක් ඇති වන විශේෂ දින වලදී හැර අනෙක් දින වලදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා නොගොස් ඊට එපිට අවකාශය හරහා විහිදී යයි. 
සූර්යග්‍රහණ පිලිබද තව දුරටත්..
පෘථිවිය, සූර්යයා වටා හා චන්ද්‍රයා, පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර පථවලය. මේ නිසා පෘථිවිය, සූර්යයා අතර දුර හා චන්ද්‍රයා, පෘථිවිය අතර දුර අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරව නොපවතී. මෙය පෘථිවියට දර්ශණය වන ආකාරයට චන්ද්‍රයාගේ හා සූර්යාගේ ප්‍රමාණය වෙනස් වීමට බලපායි. යම් සූර්යග්‍රහණයක් පූර්ණ හෝ වළයාකාර වීම තීරණය වන්නේ මේ හේතුවෙනි. පෘථිවිය සූර්යයාගේ සිට දුරම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජූලි මාසයේදී) පූර්ණ සූරයග්‍රහණ ඇති වීමට වැඩි අවකාශයක් පවතී. ලගම පිහිටුමට පැමි‍ණෙන කාලයේදී (ජනවාරි මස ) වළයාකාර සූර්යග්‍රහණයක් ඇතිවීමට වැඩි අවකාශ පවතී. 
එකම ස්ථානයකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශණය වන්නේ දල වශයෙන් අවුරුදු 370 කට වරකි. එමෙන්ම පූර්ණ සූර්යග්‍රහණයකදි සූර්යයා සම්පූර්ණයෙන් වැසී යාම සිදු වන්නේ ඉතා කෙටි කාලයකටය. මේ කාලය බොහෝ විට ආසන්න වශයෙන් 7මි 30 තත් කට වඩා වැඩි නොවේ. මේ කාලයට වඩා වැඩි පූර්ණ අවස්ථාවකට පත් වන සූර්යග්‍රහණ ඉතා දුර්ලභය. 21 වෙනි ශතවර්ෂයේ දිගම පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2009 ජූලි 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය. එම කාලය 6මි 39තත් විය.
පූර්ණ සූර්යග්‍රහණයක චන්ද්‍රයා මගින් සූර්යයා වසාගෙන යාමේ එක් අවස්ථාවකදී, එනම් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාමත් ආසන්න අවස්ථාවේදී, චන්ද්‍රයා මත යම් දිලිසුමක් දැක ගත හැකිය. මෙම අවස්ථාව ‘බේලීස් බීඩ්'(Baily’s beads) ලෙස හදුන්වයි. මෙවැනි තත්වයක් ඇති වන්නෙ පූර්ණ සූර්යග්‍රහණයකදී පමණි. සූර්යාලෝකය චන්ද්‍රයාගේ කදු, ආවාට හා නිම්න හරහා යාමේදී ඇති වන දිලිසුම් මෙවැනි තත්වයක් ඇති කිරීමට හේතු වේ. මේ බේලීස් බීඩ් සංසිද්ධියේම තවත් එක් අවස්ථාවක් ලෙස ‘දියමන්ති මුද්ද'(Diamond Ring Effect) නමින් හැදින්වෙන සංසිද්ධිය දැක්විය හැකිය. මෙහිදී චන්ද්‍රයා වටා සූර්යාලෝකය දියමන්ති මුද්දක් ලෙස දිස් වීමට පටන් ගනී. බේලියස් බීඩ් තත්වය දැක ගත හැක්කේ තත්පර කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකට වන අතර මෙම තත්වය මුල් වරට පැහැදිලි කරන ලද්දේ 1836 දී ‘Francis Baily’ විසිනි.
අවුරුද්දකදී සාමාන්‍යයෙන් සූර්යග්‍රහණ අවම වශයෙන් දෙකක් සහ උපරිම වශයෙන් 5ක් ඇතිවිය හැකිය. නමුත් වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වූ අවසාන අවස්ථාව වන්නේ 1935 දීය. නැවත මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ 2206 දීය. අවුරුද්දක් තුලදී ඇතිවිය හැකි උපරිම ‘පූර්ණ සූර්යග්‍රහණ’ ප්‍රමාණය 2ක් පමණි. නමුත් වසරකට පූර්ණ සූර්යග්‍රහණ දෙකක් ඇති වන්නේද ඉතාමත් කලාතුරකිනි. මෙවැනි අවස්ථාවකට උදාහරණ ලෙස 1712, 1889, 2057 සහ 2252 යන වසරවල් දැක්විය හැකිය.
2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය
මේ පිළිබදව ඔබ සියලු දෙනා යම් තාක් දුරකට හෝ දැන්වත් වී ඇතැයි සිතමි. 2010 ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ 1955 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවට දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයෙන් පසු දර්ශණය වන දැවැන්ත සූර්යග්‍රහණය මෙය වීම හා මීට පෙර මෙවැනි ආකාරයේ වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වී ඇත්තේ අවුරුදු 109 කට පෙර 1901 වර්ශයේදී වීමයි. 1955 ට පසු ශ්‍රී ලංකාවට මෙතෙක් දර්ශණය වූ සියලුම සූර්යග්‍රහණ අර්ධ ඒවාය. පහත 1955 සිට මේ දක්වා දර්ශණය වූ අර්ධ සූර්යග්‍රහණ ලැයිස්තුව දැක්වේ.
1955 December 14  
1958 April 19 
1965 November 23  
1976 April 29  
1976 October 23  
1977 April 18 
1980 February 16  
1983 June 11  
1988 September 11  
1995 October 24 
1999 August 11  
2005 October 03  
2007 March 19  
2008 August 01  
2009 January 26  
2009 July 21-22     
මෙම ග්‍රහණයේ වළයාකාර අවස්ථාව දිස් වන්නේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රධාන උතුරුකරයටය. සෙසු ප්‍රදේශ වලට මෙය අර්ධ ලෙසින් දර්ශණය වේ.
ග්‍රහණයේ ගමන් මග මෙතැනින් ලබාගන්න.

Related Posts

Post a Comment